2020 ජුනි 20 වන සෙනසුරාදා

මරණ Kissing ගොඩ ලීසිං

 2020 ජුනි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 204

මීට වසර කීපයකට පෙර ලියුම්කරු බදුල්ලේ සංචාරයක් ගොස් නැවත කොළඹ බලා එමින් සිටියේය. ඒ බදුල්ලේ සිට කොළඹ බලා යමින් සිටින අර්ධසුඛෝපභෝගී බස් රථයකිනි. මට ස්ථානය නිශ්චිතව මතක නැත. බස් රථයේ පිටුපස දොරෙන් නැගි පිරිසක් වේගයෙන් බසයේ මැදින් රියදුරු අසුන වෙත ඇදී යන හැටි දැකගත හැකිවිය. රියැදුරු අසලට ගොස් ඔහු සමඟ කසුකුසු ගෑ ඒ පිරිස අතින් බස් රථය නවතන ලෙස සංඥා කළහ. එය බොහෝ දෙනා බලාසිටි අතර එහෙත් කිසිවකු විමසුවේ නැත. බස් රථය නැවතිණි. පිරිසෙන් එක් අයෙක් බසයේ මැදට විත් ඔවුන් ලීසිං සමාගමකින් බවත් බසය වාරික ගෙවා නැති නිසා රැගෙන යාමට සිදුවන බවත් ඒ නිසා මගීන් බස්සන බවත් දැන්වීය. මෙය ඇසූ මගීන්ට යක්ෂයා ආරෑඪ විය. අම්මප්පා මතක් කරමින් ඔවුන්ට බැණ වැදුණාහ. එහෙත් ඔවුන් ගණන් ගත්තේ නැත.

බස් රථය නැවතූ අයෙක් ලීසිං සමාගමේ අවසරයත්, පොලීසියේ අවසරයත් ඇති බවත් ඒ නිසා කරුණාකර බහින ලෙසත් දැන්වීය. එකා දෙන්නා ක්‍රමයෙන් පරාජය දරාගනිමින් බසයෙන් බැස ගියෝය. එහෙත් මමත් තවත් මගින් දහපහළොස් දෙනකුත් බැස යා නොහැකි බව දැන්වූයෙමු. අවසානයේ තීන්දුව වුණේ තවත් බස් රථයක් පැමිණෙනතෙක් කිසිවකු නොයන බවය. පැයයි විනාඩි 35කට පසුව බස් රථයක් ආ අතර එයට සියලු දෙනා ගොඩවූහ. අවසානයේ සටන මෙහෙයවූ පුද්ගලයන් බසයේ හිටගෙන යාම තරම් අයිතිය වෙනුවෙන් කතා කළ සටන ප්‍රබල වූ බව සිනහාමුව පිරුණු මුහුණින් කිව හැකිය.

මේ කතාව කීවේ ලීසිං මාෆියාව විසින් මෙහෙයවන සීස් ක්‍රමය හෙවත් මුදල් නොගෙවූ වාහන බලහත්කාරයෙන් රැගෙන යාමේ තක්කඩි ක්‍රියාව ගැන කීමටය. මෙය එක් පැත්තකින් නීතියේ ආවරණය සහිතව සිදුකරන පාතාලයකි. මිනිසුන්ට පීඩා කරමින් මිනිසුන් තලා පෙලා ආත්මගරුත්වය කෙලෙසා සිදුකරන මේ ක්‍රියාවට එරෙහිව කතා කළ පිරිස අතේ ඇඟිලි සංඛ්‍යාවටත් වඩා අඩුය. බොහොමයක් අය මේ රැවිලි ගෙරවිලිවලට ඔළුව පහත් කර සිටියා මිස ඊට එරෙහිව වචනයක් කතා කළේ නැත.

කෙසේ වෙතත් මේ වාහන සීස් කිරීමත්, සීසර්ලා ගැන කතාවත් නින්දෙන් ඇහැරුනාක් මෙන් කතා වෙන්න ගත්තේ පසුගියදා වෘත්තීය සංගම් නයකයකු වන සුනිල් ජයවර්ධන ඝාතනයත් සමඟය. ඒ අපේ රටේ හැටිය. ඕනෑම දෙයක් ගැන ඇස් ඇරෙන්නේ ඉන් සිදුවිය යුතු හොඳම අපරාධය රටට සිදුවූ පසුය. එතැනින් පසු ඒ ගැන සෙවීම ජනතාවත්, පාලකයත් සතු ක්‍රමය වී ඇත. ඒ නිසාම මේ අපරාධය ගැන කියන්නේ සියලු දෙනාටම දැනගැනීම සඳහාය.

මේ දිවයින තුළ ලියාපදිංචි ලීසිං සමාගම් ඇත්තේ ඉතාම සීමිත සංඛ්‍යාවකි. බොහොමයක් ගොඩ ලීසිංය. ගිනි පොලියට මුදල් ලබාදෙන මොවුන් ඕනෑම මොහොතක වාහනයක් ගැනීමට 2/3ක් පමණ ඉතිරි මුදල දීමට දෙපාරක් හිතන්නේ නැත. මේ නිසා ඕනෑම අයකු තමන්ගේ වාහන සිහිනය සැබෑ කර ගැනීමට දෙවතාවක් නොසිතා ලීසිං සමාගම ලබාදෙන එකඟතා ලිපිවලට අත්සන් තබති. මෙකී ගිවිසුමේ ඇති කිසිම දෙයක් කිසිවකු කියවන්නේ නැත. සිහිනයක අතරමං වූ මොහොතක ලබාදෙන ගිවිසුමේ මරණීය දණ්ඩනය ලබාදෙන බවට ලියා තිබුණත් ඒ ගැන නොබලා අත්සන් කිරීම සාමාන්‍ය මිනිසුන්ගේ හැටිය. ඒ නිසාම ලීසිං සමාගම් විසින් එම ගිවිසුමට ඉතා රහසිගත කොටසක් ඇතුළත් කර ඇත. එනම් යම් ආකාරයකින් මුදල් ගෙවීම පැහැර හැරියොත් උපරිම බලය යොදා එම වාහනය නැවත සමාගම වෙත පවරාගන්න බව දන්වමිනි. එහෙත් එය කියවන්නේ නැත. බලන්නේ නැත. හොයන්නේ නැත. එම වචන කිහිපය අලලා සිදුකරන වාහන සීස් කිරීම මේ වනවිට ජීවිත තර්ජන ඇතිවන තැනට පවා පැමිණ ඇත.

අදාළ වාහනය ලබාගත් සමාගමට අවම වාරික පහක පොල්ලක් වැටුණු පසුව එය පැහැර ගැනීමට තීන්දු කරන්නේ මේ ලීසිං සමාගම් විසින්මය. ඒ සඳහා ටයිකෝට් ඇඳි මහත්වරුන්ට යා නොහැකි නිසා ඔවුන් ඒ වෙනුවෙන් යොදවන්නේ අත පය හයිය පිරිස්ය. ඒ සඳහා එක්කෝ හිරේ විලංගුවේ වැටුණු, ආරක්ෂක අංශවල සේවය කළ, අපරාධවලට සම්බන්ධ අය බහුල වශයෙන් යොදාගැනෙති. මේ නිසා ඔවුන්ගේ ප්‍රතිචාරය එතරම් මානුෂීය නැත. ඔවුන්ට පැවරෙන්නේ කෙසේ හෝ වාහනය රුගෙන යාම පමණක් නිසා ඔවුන් කෙසේ හෝ වාහනය රුගෙන යාම පමණක් සිදුකරනු ඇත.

ඒ අනුව අදාළ වාහනය ලබාගන්නා බවට පොලීසියට පැමිණිල්ලක් දමා එම පැමිණිල්ලත් රැගෙන ගොස් වාහනය රැගෙන යාම ක්‍රමවේදය වී ඇත. කෙසේ වෙතත් එය නීත්‍යානුකූල ක්‍රමයක් ලෙස මෙරට නීතිය රකින ආයතන පවා පිළිගැනීම එක් පැත්තකින් විහිළුවකි. පොලීසියට පැමිණිලි දමා ගොස් අතපය කඩා පහරදී වාහනය පැහැර ගත්තත් වින්දිතයාට නීතියෙන් පිහිටක් ඇත්තේම නැත. ඇතැම් ස්ථානවල පොලීසියෙන් අඩුම තරමින් පැමිණිල්ලෙන් තමාට ගැහුවාද කියාවත් අසන්නට සූදානම් නැත. මේ නිසා ලීසිං පාතාලය එක් පැත්තකින් පොලිස් ආරක්ෂාව මැද ක්‍රියාත්මක පාතාලයකි.

ඇතැම් සීසර්වරු වාහන පැහැර ගැනීම සඳහා යකඩ පොලු, මන්නා පිහි පමණක් නොව පිස්තෝල පවා රැගෙන ගිය අවස්ථා එමට ඇත. එසේ සිදුවී ඇතත් ඇතැම් අවස්ථාවල කිසිවකු පොලීසිය හමුවේ පැමිණිලි කරන්න ගියේ නැත. ඒ උපරිම වේදනාවත්, ලැජ්ජාවත් ඉවසාගෙන සිටියා මිස කිසිදු ප්‍රතිවිරුද්ධතාවයක් ඉදිරිපත් කළේ නැත. ඒ නිසා මේ පැහැර ගැනීම්, බිය වැද්දීම්, පහර කෑම් රටේ සාමාන්‍ය නීතියේම කොටසක් වී තිබිණි.

සාමාන්‍යයෙන් එක් වාහනයක් ලබා ගැනීම සඳහා පිටත්වන සීසර්වරු සංඛ්‍යාව  දෙදෙනෙකි. වාහනයේ හිමිකරු යම් තරාතිරමක කෙනෙක් නම් ඒ සඳහා අවම සීසර්වරු 10ක්වත් යන බව දැනගන්නට ඇත. එක් මෙහෙයුමක් සඳහා රු. 25000 සිට ලක්ෂ 2ක් තුනක් ලැබෙන බව දැනගන්නට ඇත. ඇතැම් ඒවා සඳහා ඊටත් වඩා වැඩියෙන් ගෙවති. ඒ තරම් මුදලක් ගෙවන්නේ ඒ තරම් එහි තත්ත්වය බරපතළ වන නිසාය. කට ගොන්නක් බීගන්නා ඔවුන් කිසිදු වග විභාගයකින් තොරව සිදුකරන මේ ක්‍රියාවේදී පුද්ගලයකු මියයාම සාමාන්‍ය දෙයකි. රුපියල් 5000ටත් මිනී මරණ සමයක මෙතරම් මුදලක් දී මිනිහෙක් මැරුණාට එතරම් අවුලක් නැතැයි ලීසිං සමාගම් පවා හිතනවා විය හැක. ඒ නිසා හිරේ විලංගුවේ වැටුණොත් එකී පාඩුවද මෙහිදී දරාගත යුතුය.
කෙසේ වෙතත් මේ නොහික්මුණු ක්‍රියාවේ බහුතරයක් යෙදෙන්නේ ගොඩ ලීසිං හිමියන්ය. ඔවුන්‍ට මුදල් ගැනීමට නීතිමය හමුවකට යාම කරදරයක් නිසා දෙකක් තුනක් ඇර වාහනය පැහැර ගැනීම ලේසි යැයි ඔවුන් සිතනු ඇත. ඒ නිසා ඒ අසාධාරණය වෙනුවෙන් කතා කරන අයට පවා පහර දී ඝාතනය කරන තැනට පත්ව ඇත්තේ මේ නීතියෙන් පිට සිදුකරන ක්‍රියාව නිසාය. ඒ හේතුවෙන් සුනිල් ජයවර්ධන වැනි අය ජීවිතේ පරදුවට තැබුවේය.

කෙසේ වෙතත් මේ සිදුවීමෙන් පසුව ජනාධිපතිවරයා විසින් ලීසිං සමාගම්වලට දැඩි නීති රැසක් වාචිකව දමන ලදී. ඒ ලියාපදිංචි නොවූ ලීසිං සමාගම්වලට එරෙහිව ක්‍රියාකරන ලෙසත්, වාහන සීස් කිරීම නවතන ලෙසත්ය. එය වාචික නියෝගයකි. එහෙත් එය ප්‍රමාණවත් නැත. නියත වශයෙන්ම එය නැවතීමට නම් වාහන අත්පත් කරගන්නා නීති ක්‍රමය ලීසිං සමාගම්වල ගිවිසුමෙන් ඉවත් කළ යුතුව ඇත. එපමණක් නොව පොලීසියේ පැමිණිලි දමා වාහන කොල්ල කෑමට යාමට පොලීසිය විසින් අවසර ලබානොදිය යුතුය. එසේ සිදුකිරීමෙන් පමණක් මෙම අපරාධය සහමුලින්ම අහවර කළ හැකි වන අතර එතෙක් මෙයට නිශ්චිත විසඳුමක් නැත.

එපමණක් නොව මේ හරහා ලීසිං සමාගම් වෙතද ඔවුන් වෙත ගැනුම්කරුවන් හරහා සිදුවන අසාධාරණය හමුවේ සිදුකළ හැකි කඩිනම් නීති ක්‍රමවේදයක් ද ගොඩ නැගිය යුතුය. එසේ සිදුකිරීමෙන් දෙපාර්ශවයටම සාධාරණය හිමිවනු ඇත. එතෙක් විසඳුමක් නැත. එහෙත් මිනිස්සුන්ට දසවද දී මිනිස්සුන්ගේ ආත්මගරැත්වය කෙලෙසන ලීසීං සීසර් පාතාලයට තිතත් තැබිය යුතුමය.

 ගයාන් ගාල්ලගේ